NSW South Coast හි මාර්ගයක ගමන් කරමින් සිටි පදිකයින් දෙදෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරිදා රාත්‍රී 9.30 ට පමණ Tura Beach හි Pacific Way ප්‍රදේශයට හදිසි සේවා කණ්ඩායම් කැඳවා තිබුණේ, පදිකයින් දෙදෙනෙකු සුදු පැහැති Nissan Dualis වර්ගයේ රථයක ගැටී ඇති බවට ලද තොරතුරකට අනුවයි.

මෙලෙස අනතුරට ලක්වීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 55 ක් වන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.

අනතුර සිදු වන අවස්ථාවේ රථය පදවා ඇති 45 හැවිරිදි කාන්තාවට කිසිදු තුවාලයක් සිදුවී නොමැති අතර, අනිවාර්ය පරීක්ෂණ කටයුතු සඳහා ඇය Bega හි පිහිටි South East Regional Hospital වෙත යොමු කර තිබෙනවා.

මෙම මාරක රිය අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ එය දුටු හෝ ඊට අදාළ dashcam හෝ ජංගම දුරකථන දර්ශන සතුවන කිසිවෙකු සිටී නම්, වහාම Bega Police Station හෝ Crime Stoppers වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.